උඩුගම්පල සිට නයිවල දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය යනු දිනපතා උදේ සහ සන්ධ්‍යා කාලයේදී විශාල රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන් මෙන්ම පාසල් දූ දරුවන් ඇතුළු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සහ වාහන ප්‍රමාණයක් ගමන් ගන්නා අතිශය කාර්යබහුල මාර්ගයකි. කෙසේ වුවද, මීට මාස කිහිපයකට පෙර ජල නල එළීමේ ව්‍යාපෘතියක් සඳහා මෙම මාර්ගය හාරා, පසුව එය අවිධිමත් ලෙස එහෙන් මෙහෙන් වසා දැමීම හේතුවෙන් මේ වන විට සමස්ත මාර්ග පද්ධතියම මුළුමනින්ම විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු සහ රියදුරෝ දැඩි කනස්සල්ලෙන් යුතුව පෙන්වා දෙති.
විශේෂයෙන්ම උඩුගම්පල හන්දියේ සිට ගොරොක්ගහමුල දක්වා වූ මාර්ග කොටස වර්තමානය වන විට අබලන් වී තිබේ. මාර්ගය පුරා තැනින් තැන මහා පරිමාණයේ මාරක වළවල් හෑරී පවතින අතර, මාස ගණනාවක් තිස්සේ පවතින මෙම බරපතල තත්ත්වය දෙස වගකිවයුතු කිසිදු බලධාරියෙකු මෙතෙක් හැරී බලා නොමැති බවට ජනතාව චෝදනා කරති. මෙම අවිධිමත් මාර්ගය හේතුවෙන් දිනපතා වාහනවලට සිදුවන යාන්ත්‍රික හානිය ද දිනෙන් දින ඉහළ යමින් පවතී.
දිවා කාලයේදී යම් තාක් දුරකට හෝ වළවල් මඟහරිමින් ගමන් කිරීමට හැකි වුවද, රාත්‍රී කාලයේදී මෙම මාර්ග තීරය දැඩි අනතුරුදායක මර උගුලක් බවට පත්වෙයි. නිසි මාර්ග ආලෝකකරණයක් නොමැති වීම සහ අනාරක්ෂිත වළවල් හේතුවෙන් රාත්‍රී කාලයේ ගමන් ගන්නා යතුරුපැදි සහ පාපැදි කරුවන් මෙම වළවල් තුළට වැටී දරුණු අනතුරුවලට ලක්වීමේ දැඩි ජීවිත අවදානමක් මතුව තිබේ. කිසියම් පුද්ගලයෙකු අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වන තුරුම බලධාරීන් මෙලෙස නිද්‍රාශීලීව බලා සිටින්නේ දැයි ප්‍රදේශවාසීන් ප්‍රශ්න කර සිටින අතර, අදාළ අංශ වහාම මැදිහත් වී මෙම විනාශ වූ මාර්ග කොටස කඩිනමින් කාපට් කර ප්‍රතිසංස්කරණය කර දිය යුතුව ඇත.














