කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන එකසිය හැත්තෑතුනයි දශම නවයයි දෙකක (173.92) මූල්‍ය ආධාර සහිත ජාත්‍යන්තර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය හා සමාජ පර්යේෂණ ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ යාපනය විශ්වවිද්‍යාලය සහ එක්සත් රාජධානියේ බර්මින්හැම් විශ්වවිද්‍යාලය ඇතුළු ජාත්‍යන්තර ආයතන එකොළහක් එක්ව සහයෝගිතා ගිවිසුමකට එළඹීමට නියමිතය.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ මෙම යෝජනාවට අනුව ව්‍යාපෘතිය වසර හතරක කාලයක් පුරා ක්‍රියාත්මක වේ. මෙමඟින් පුහුණුව ලත් ප්‍රජා සම්බන්ධතා සහ මැදිහත්වීම් කණ්ඩායම් දේශීය සෞඛ්‍ය පද්ධතියට ඒකාබද්ධ කිරීමට නියමිතය. කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම, එහි ආර්ථික හා සාමාජීය බලපෑම් ඇගයීම, ඵලදායී උපායමාර්ග හඳුනාගැනීම සහ ආයතන අතර ධාරිතා සංවර්ධනය සිදු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.














