ක්‍රිකට් පරිවර්තන කමිටුව (Cricket Transformation Committee) පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කර ඇත්තේ 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති ප්‍රකාරව බවත්, එවැනි කමිටුවක් පත් කළ පසු නව විධායක කමිටුවක් පත් වන තෙක් ආයතනයේ මුදල් හා දේපළ ඇතුළු සියලු පරිපාලන බලතල එම කමිටුව සතු වන බවත් SLC පෙන්වා දෙයි.
මෙම පත්කිරීම් රජයේ ගැසට් පත්‍රයේ ද පළ කර ඇති බැවින්, මූල්‍ය හා පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමට කමිටුවට පූර්ණ නීත්‍යානුකූල බලය හිමිව තිබේ. ආයතනයේ මූල්‍ය පාලනය අඩාල වී ඇති බවට කෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු ඒවා බව පවසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ක්‍රීඩකයන්, සේවකයන්, සැපයුම්කරුවන් සහ අනෙකුත් පාර්ශ්වයන් වෙනුවෙන් සිදු කළ යුතු සියලු ගෙවීම් කිසිදු බාධාවකින් තොරව නියමිත වේලාවට සිදු කරමින් දෛනික මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව වැඩිදුරටත් සඳහන් කරයි.














