නීතිවිරෝධී ලෙස සන්නිවේදන උපකරණ යොදාගනිමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් වටලා, රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් උපකරණ තොගයක් සමඟ විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව ඇත.
ගල්කිස්ස පොලිස් වසමට අයත් අත්තිඩිය පාරේ පිහිටි ගොඩනැගිල්ලක් තුළ බලපත්‍ර නොමැතිව රහසිගතව මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන යන බවට පොලීසියට රහස් තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් විශේෂ සෝදිසි වරෙන්තුවකට අනුව ඊයේ (19) දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් ඒකාබද්ධව මෙම හදිසි වැටලීම සිදුකර තිබේ.
මෙම වැටලීමේදී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද නවීන සන්නිවේදන හා සම්ප්‍රේෂණ උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇති අතර, මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය 55 හැවිරිදි මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මොහු දැනට කළුබෝවිල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින්නෙකි. අත්අඩංගුවට ගත් සැකකරු සහ රුපියල් කෝටියක් වටිනා උපකරණ තොගය ඉදිරි නීතිමය පියවර සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
















