මගී ප්‍රවාහන බස් රථ සේවයේ යෙදී සිටියදී විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වූ රියදුරන් අටදෙනෙකු සහ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව තිබේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් සහ කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් ඒකාබද්ධව ඊයේ (19) දින දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර දකුණ පොලිස් වසම තුළ ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථ දැඩි පරීක්ෂාවකට ලක් කරමින් මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ. එහිදී සිදුකළ විශේෂ වෛද්‍ය පරීක්ෂණ මගින් මොවුන් විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් මගීන්ගේ ජීවිත අනතුරේ දමා සේවයේ නිරතව සිටි බවට අනාවරණය වී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 35ත් 57ත් අතර පසුවන පයාගල, යටියන, දොඩම්ගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.














