සයිබර් අපරාධ සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නා බවට සැකකෙරෙන ජංගම දුරකථන සහ බැටරි තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයින් තිදෙනෙකු කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පිරිස අතර 34 හැවිරිදි චීන ජාතික කාන්තාවක් සහ 35 හැවිරිදි චීන ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිටිති. මොවුන් තිදෙනා ඊයේ (19) සවස 6.43 ට පමණ චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි ‘China Eastern Airlines’ ගුවන් සේවයට අයත් MU-6017 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණි.
ගුවන්තොටුපලේ පැමිණීමේ පර්යන්තයේදී කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් සඳහා වෙන් කර ඇති “හරිත මාවත” (Green Channel) ඔස්සේ පිටව යාමට උත්සාහ කරද්දී රේගු නිලධාරීන් විසින් සැකපිට මොවුන්ව නිරීක්ෂණය කර ඇත. සැකකරුවන් සතු තීරුබදු රහිත භාණ්ඩ සාප්පු බෑග කිහිපයක් අතර තිබී කළු පැහැති පොලිතින් බෑගයක් පරික්ෂා කිරීමේදී, චොකලට් සහ ටොෆි පැකට් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ මෙම ජංගම දුරකථන සහ බැටරි තොගය සොයාගැනීමට හැකි විය.
මෙම අත්අඩංගුවට ගත් උපකරණවල වටිනාකම රුපියල් 514,000ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට පත් කිරීමට රේගු නිලධාරීන් කටයුතු කරමින් සිටී.
















