ජාතික රණවිරු අනුස්මරණ දිනය නිමිති කරගනිමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා ඊයේ (19) අත්තිඩියේ පිහිටි ‘මිහිඳු සෙත් මැදුර’ රණවිරු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් සටන් වැද බරපතළ ලෙස තුවාල ලබා දැනට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම මෙහි ප්‍රධාන අරමුණ විය.
යුද්ධ හා නාවික හමුදාධිපතිවරුන් මෙන්ම ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සමඟින් එහි පැමිණි නියෝජ්‍ය අමාත්‍යවරයා, රණවිරුවන් පෞද්ගලිකවම හමුවෙමින් ඔවුන්ගේ වෛද්‍ය, පුනරුත්ථාපන සහ සෙසු සුබසාධන සේවාවන්හි වත්මන් ප්‍රගතිය මෙන්ම අවශ්‍යතා පිළිබඳව ද ලෙන්ගතුව සොයා බැලුවේය. රට වෙනුවෙන් එම විරුවන් දැක්වූ අමිල කැපවීම අගය කළ අමාත්‍යවරයා, ඔවුන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නැංවීම සඳහා රජයේ උපරිම සහයෝගය අඛණ්ඩව ලබාදෙන බවට සහතික විය.
මෙම උදාර කාර්යභාරය වෙනුවෙන් කැපවන මිහිඳු සෙත් මැදුරේ වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සිය හෘදයාංගම කෘතඥතාව පළකළ නියෝජ්‍ය අමාත්‍යවරයා, රණවිරුවන් වෙත හිමිවිය යුතු උත්කෘෂ්ට ගෞරවය සහ ආදරණීය සැලකිල්ල නොඅඩුව ලබාදීම පිළිබඳව ඔවුන්ව විශේෂ ඇගයීමකට ලක් කළේය. මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ආරක්ෂක අංශවල උසස් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.














