ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාව ඇතුළු රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් මුහුණ දෙන දිගුකාලීන ගැටලුවලට විසඳුම් සෙවීම සහ ක්ෂේත්‍රයේ ඉදිරි ප්‍රගමනය උදෙසා විශේෂ සාකච්ඡාවක් පසුගියදා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා රූපවාහිනී අනුමණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා, රූපවාහිනී අනුමණ්ඩලයේ සභාපති සුනිල් කොස්තා මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණ නිර්මාණකරුවෝ සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවේදී රූපවාහිනී මාධ්‍ය නිර්මාණවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නිර්මාණකරුවන්ගේ ආර්ථික සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ඔවුන්ගේ සුබසාධන කටයුතු කඩිනම් කිරීම ඇතුළු ක්ෂේත්‍රයේ අනාගත උන්නතියට අදාළ කරුණු රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
















