ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ සුප්‍රකට “මෙලඩි” (Melody) ටොෆි වීඩියෝවක් හේතුවෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ තුළ අදහාගත නොහැකි ආකාරයේ ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා වේ. සමාජ මාධ්‍ය හරහා ඇති වූ මෙම දැවැන්ත “Melody” රැල්ල නිසා බොම්බාය කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ‘Parle Industries’ සමාගමේ කොටස් මිල අඛණ්ඩව දෙවන දිනටත් 5% බැගින් ඉහළ යමින් සමස්ත වර්ධනය 10% සීමාව දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
නමුත් මෙහි ඇති වඩාත්ම හාස්‍යජනක සහ සුවිශේෂී කරුණ වන්නේ, ආයෝජකයන් උමතුවෙන් මෙන් කොටස් මිලදී ගත් ‘Parle Industries’ සමාගම සහ ලොව පුරා ප්‍රසිද්ධ “Melody” ටොෆි නිෂ්පාදනය කරන සමාගම අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවක් නොමැති වීමයි. මෙම රසකැවිලි නිෂ්පාදනය කරනු ලබන්නේ ලැයිස්තුගත නොවන පෞද්ගලික සමාගමක් වන ‘Parle Products’ ආයතනය විසිනි. කෙසේ වෙතත්, නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා විසින් ඉතාලි අගමැතිවරිය වෙත “පාර්ලේ මෙලඩි” ටොෆි පැකට්ටුවක් තෑගි කරන අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය සටහන ලැව්ගින්නක් සේ ප්‍රසිද්ධ වීමත් සමඟ, ආයෝජකයන් නමේ ඇති සමානකම නිසා රෝගී උන්මාදයකින් මෙන් වැරදීමකින් ‘Parle Industries’ සමාගමේ කොටස් මිලදී ගැනීමට පෙළඹී ඇත. මේ හේතුවෙන් බදාදා දිනයේදී ඉන්දීය රුපියල් 5.25ක් ලෙස පැවති එම සමාගමේ කොටස් මිල, අද (බ්‍රහස්පතින්දා) වන විට රුපියල් 5.51ක් දක්වා ඉහළ යමින් ඉන්දීය මූල්‍ය වෙළෙඳපොළ තුළ දැඩි කතාබහක් නිර්මාණය කර තිබේ.














