රජය විසින් වාහන ආනයනය සඳහා 50%ක රේගු අතිරේක බද්දක් (Surcharge) පැනවීමට නියමිතව තිබූ මැයි 15 වැනිදා, ඊට පෙරදින ඇතැම් පිරිස් විසින් වාහන 4,000ක් සඳහා ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවට විපක්ෂය එල්ල කරන චෝදනා නියෝජ්‍ය මුදල් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි. රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ විපක්ෂය පවසන මෙම ප්‍රකාශය කිසිදු පදනමක් නැති සම්පූර්ණ අසත්‍යයක් බවයි.
සැබෑ දත්ත ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මැයි 15 වැනිදා විවෘත කර ඇත්තේ LC 380ක් පමණක් බවත්, ඒ යටතේ ආනයනය කිරීමට නියමිත මුළු වාහන සංඛ්‍යාව 1,782ක් පමණක් බවත්ය. එම වාහනවල සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 23.71කි. විපක්ෂය විසින් ජනතාව නොමඟ යැවීමට සහ රට තුළ අනවශ්‍ය බියක් ඇති කිරීමට මෙලෙස අතිශයෝක්තියෙන් යුත් අසත්‍ය සංඛ්‍යාලේඛන සමාජගත කරන බව පවසන අනිල් ජයන්ත මහතා, මෙවැනි ව්‍යාජ ප්‍රචාර නිසා ජනතාව කලබල වී අනවශ්‍ය මිලදී ගැනීම් සිදුකර පාඩු ලබන බැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙවැනි කිසිදු නිල නොවන ප්‍රකාශ විශ්වාස නොකරන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.














