පසුගියදා බලපෑ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් දරුණු ලෙස නායයෑමකට ලක්වූ තවලන්තැන්න-පූඩළුඔය ප්‍රධාන මාර්ගය, තාවකාලිකව කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව එම මාර්ගය මධ්‍යයේ විශාල ලෙස ගස් වැවෙමින් පවතින අමුතුම ආකාරයේ දර්ශනයක් ඊයේ (20) දින අප කැමරාවේ සටහන් විය. මාර්ගය නිසි ප්‍රමිතියකින් තොරව සහ අවිධිමත් ලෙස සකසා ඇති බවට සාක්ෂි සපයමින් මෙලෙස කාපට් පාර මැදින්ම වල් පැලෑටි සහ ගස් මතු වෙමින් පවතී.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) විසින් මෙම මාර්ගයේ එක් මන්තීරුවක් පමණක් තාවකාලිකව කාපට් අතුරා මතුපිටින් සකස් කළ ද, නායගිය මෙම අවදානම් මාර්ගය ස්ථීර ලෙස යථා තත්ත්වයට පත් කිරීමට වගකිවයුතු කිසිදු බලධාරියෙකු මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි. පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වයත් සමඟ මේ දිනවල මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන්, තාවකාලිකව සැකසූ මෙම පාරේ ඉතිරි කොටස ද සම්පූර්ණයෙන්ම යළිත් නායයෑමේ දැඩි අවදානමකට ලක්ව ඇති බැවින් වහාම මැදිහත් වන්නැයි ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.














