ලෝක වෙළෙඳපොළේ ප්‍රධානතම මුහුදු මාර්ගයක් වන ‘හෝමුස් සමුද්‍ර සන්ධිය’ (Strait of Hormuz) වසා දැමුවහොත්, එය හුදෙක් නැව් ගමනාගමනයට සිදුවන තාවකාලික බාධාවක් පමණක් නොව ඉදිරි මාස 6ත් 12ත් අතර කාලය තුළ මුළු මහත් ලෝකයම දරුණු ගෝලීය ආහාර මිල අර්බුදයකට (Severe Global Food Price Crisis) ඇද දමන පද්ධතිමය කම්පනයක ආරම්භය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) බරපතළ ලෙස අනතුරු අඟවයි. මේ දිනවල පවතින මැදපෙරදිග යුද ගැටුම් සහ අධික බලශක්ති පිරිවැය හේතුවෙන් දැනටමත් ලෝක ආහාර මිල දර්ශකය අඛණ්ඩව තුන්වන මාසයටත් ඉහළ ගොස් ඇති පසුබිමක මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබේ.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මැක්සිමෝ ටොරෙරෝ (Maximo Torero) මහතා ප්‍රකාශ කළේ, මෙම මාරාන්තික ආහාර අර්බුදයෙන් බේරීම සඳහා විකල්ප වෙළෙඳ මාර්ග සෙවීම, ආහාර සහ පොහොර අපනයන සීමා කිරීම්වලින් වැළකීම, මානුෂීය ආධාර ගලායාම ආරක්ෂා කිරීම සහ ඉහළ යන ප්‍රවාහන පිරිවැය දරාගැනීම සඳහා රජයන්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ පෞද්ගලික අංශය වහාම එක්ව මැදිහත් විය යුතු බවයි. මෙම කම්පනය මුලින්ම බලශක්ති සහ පොහොර මිල ඉහළ දැමීම, පසුව බීජ හිඟය, අස්වැන්න අඩුවීම සහ අවසානයේදී දරුණු ආහාර උද්ධමනයක් (Food Inflation) දක්වා අදියරෙන් අදියර වර්ධනය වන බව පෙන්වා දෙන එම සංවිධානය, මීට අමතරව ඉදිරියේදී පැමිණිය හැකි ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික විපර්යාසය හේතුවෙන් ලොව පුරා ඇතිවිය හැකි නියඟයන් නිසා තත්ත්වය තවත් දරුණු විය හැකි බවද අවධාරණය කරයි. මේ සඳහා කෙටි කාලීන නිර්දේශ ඉදිරිපත් කරමින් FAO ආයතනය පවසන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධිය මඟහැරීම සඳහා සෞදි අරාබිය සහ රතු මුහුද හරහා විකල්ප ගොඩබිම් සහ මුහුදු මාර්ග වහාම සක්‍රීය කරගත යුතු බවයි.














