නුවරඑළිය, බගවන්තලාව ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රය තුළදී ඊයේ (20) දින උදෑසන කාලයේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අද්භූත හා අතිශය කණගාටුදායක මාරක රිය අනතුරක් සිදුව තිබේ. රියදුරා නොමැතිව ඉදිරියට ඇදුණු පෞද්ගලික බස් රථයකට මැදිවීමෙන් 29 හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.
පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ බස් රථයේ රියදුරු විසින් වාහනය පණගන්වා (Start කර), එය නිසි ලෙස නවතා තැබීමකින් තොරව (Handbrake හෝ Gear යෙදීමකින් තොරව) බස් රථයෙන් බිමට බැස ඇති බවයි. එම අවස්ථාවේදී එකවරම බස් රථය ඉදිරියට ධාවනය වී ඇති අතර, ඒ අසල සිටි පුද්ගලයෙකු ද යටකරගෙන ගොස් අසල නවත්වා තිබූ ලොරි රථයක ගැටී නතර වී තිබේ. අනතුරින් බස් රථයට සහ ලොරියට මැදිවී බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා වහාම බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ ද, ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටියේය.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වව්නියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. රියදුරුගේ දැඩි නොසැලකිලිමත්කම හේතුවෙන් සිදු වූ මෙම මරණය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු වහාම ක්‍රියාත්මක වූ බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව බගවන්තලාව පොලිස් ස්ථානයේ රථවාහන අංශය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














