උතුරු පළාතේ විවිධ පුද්ගලයන් ආරක්ෂිත හිස්වැසුම් (Helmets) නොමැතිව යතුරුපැදිවලින් ගමන් කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව ද තරාතිරම නොබලා අනිවාර්යයෙන්ම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය. උතුරු ප්‍රදේශයේ ඇතැම් තරුණයන් මාර්ග නීති මුළුමනින්ම උල්ලංඝනය කරමින් ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව ප්‍රසිද්ධියේ යතුරුපැදි ධාවනය කරන බවට එම ප්‍රදේශවාසීන්ගෙන්ම පොලිසිය වෙත තොරතුරු ලැබී තිබේ.මේ පිළිබඳව කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර සිටියේ, ශ්‍රී ලංකාව තුළ උතුරට හෝ දකුණට කියා මහා මාර්ග නීතියේ කිසිදු වෙනසක් නොමැති බවයි. ශ්‍රී ලංකා පොලිසිය විසින් මෙරට සෑම පුරවැසියෙකුටම නීතිය එක හා සමාන ලෙස ක්‍රියාත්මක කරන බවත්, ඉදිරියේදී උතුරු පළාත තුළ ද මෙවැනි වගකීම් විරහිත ධාවකයින් කොටුකර ගැනීම සඳහා විශේෂ රථවාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මහා මාර්ගවල ගමන් ගන්නා සියලුම දෙනාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මාර්ග නීති නිසි පරිදි පිළිපැදීම සැමගේම වගකීමකි.














