රුසියාව සහ බෙලාරුස් ඒකාබද්ධව පවත්වනු ලබන දැවැන්ත මූලෝපායික න්‍යෂ්ටික යුද අභ්‍යාසවල (Nuclear drills) ප්‍රධාන කොටසක් ලෙස, රුසියාව විසින් බෙලාරුස් රාජ්‍යයේ පිහිටි ක්ෂේත්‍ර ගබඩා සංකීර්ණ වෙත සැබෑ න්‍යෂ්ටික පතොරම් සහ යුධෝපකරණ (Nuclear munitions) බෙදාහැරීමට කටයුතු කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය අද (21) බ්‍රහස්පතින්දා නිල වශයෙන් ප්‍රකාශ කළේය. යුක්රේන යුද්ධය මුල්කරගනිමින් රුසියාව සහ බටහිර බලවතුන් අතර පවතින දැඩි රාජ්‍යතාන්ත්‍රික සහ යුධමය නොසන්සුන්තාවය හමුවේ, ඉකුත් අඟහරුවාදා දින ආරම්භ වූ මෙම දින තුනක (03) දැවැන්ත න්‍යෂ්ටික අභ්‍යාස මාලාව රුසියාව සහ බෙලාරුස් යන රටවල් ද්විත්වය පුරාම එකවර ක්‍රියාත්මක වෙයි.
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම න්‍යෂ්ටික බලකායන්ගේ විශේෂ අභ්‍යාසය යටතේ බෙලාරුස් ජනරජයේ ස්ථාපිත මිසයිල බ්‍රිගේඩයට අයත් ක්ෂේත්‍ර ගබඩා සංකීර්ණ වෙත අදාළ න්‍යෂ්ටික පතොරම් ආරක්ෂිතව ප්‍රවාහනය කර තිබේ. එහිදී බෙලාරුස්හි පිහිටි මිසයිල බලඇණි විසින් ‘ඉස්කැන්ඩර්-එම්’ (Iskander-M) වර්ගයේ ජංගම උපක්‍රමික මිසයිල පද්ධති සඳහා මෙම විශේෂ යුධෝපකරණ ලබාගැනීම, ඒවා රොකට් දියත් කිරීමේ වාහන වෙත පැටවීම සහ ප්‍රහාර එල්ල කිරීමේ සූදානම සඳහා රහසිගතව නියමිත කලාප වෙත ගමන් කිරීම වැනි උපායමාර්ගික පුහුණුවීම් රැසක නිරත වන බව ද සඳහන් වේ.
නේටෝ (NATO) සංවිධානය විසින් “SS-26 Stone” යන රහස් නාමයෙන් හඳුන්වනු ලබන, සෝවියට් යුගයේ පැවති “Scud” මිසයිල වෙනුවට භාවිතයට ගන්නා ලද මෙම ‘ඉස්කැන්ඩර්-එම්’ (Iskander-M) ජංගම මඟපෙන්වන මිසයිල පද්ධතිය සුවිශේෂී එකකි. මෙම මිසයිල පද්ධතිය සතුව කිලෝමීටර් 500ක් (හැතැප්ම 300ක්) දක්වා වූ දුරස්ථ ඉලක්ක වෙත නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින අතර, සාමාන්‍ය (Conventional) හෝ න්‍යෂ්ටික (Nuclear) යන ඕනෑම යුධ හිස් රැගෙන යාමේ හැකියාව ද පවතී. ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වීඩියෝ දර්ශනවල අකුණු සැර මධ්‍යයේ වනාන්තරයක් හරහා ට්‍රක් රථයක් ධාවනය කරමින් විශේෂ ද්‍රව්‍යයක් ගොඩබාන ආකාරය දැක්වෙන නමුත්, එම ද්‍රව්‍යයන් මොනවාද යන්න මෙතෙක් නිල වශයෙන් හෙළි කර නොමැත.














