ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීම සඳහා ඉදිරි අය-වැයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (20) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින ගැටලු සහ සංවර්ධන කටයුතු පිළිබඳ සමාලෝචනය කරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන් ප්‍රධාන කරුණු කිහිපයකි.
පානීය ජල සැපයුම සහ වාරි ව්‍යාපෘති සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ, දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ මහජන නියෝජිතයන් සහ ජනතාව එක්ව සාකච්ඡා කර වාර්තාවක් ලබා දෙන ලෙසයි. ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් එම ප්‍රදේශයට යොමු කරන බවත් ඔහු පැවසීය. ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක වන තෙක් ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට කඩිනම් තාවකාලික පියවර ගන්නා ලෙසත්, මෙතෙක් සැලසුම් කර ඇති සියලු ජල ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත් ඔහු සහතික විය.
මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා, දිස්ත්‍රික්කයේ මාර්ග සහ පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව විමසා බැලීය. සැලසුම් කර ඇති සියලු මාර්ගවල ඉදිකිරීම් කටයුතු මේ වසර තුළදීම ආරම්භ කරන ලෙස නිලධාරීන්ට ඔහු උපදෙස් ලබා දුන්නේය.
කෘෂිකර්මය, ධීවර සහ අනෙකුත් සංවර්ධන කටයුතු අංශයෙන් වාලච්චේන වරාය පූර්ණ ලෙස සංවර්ධනය කිරීම සහ ඒ සඳහා ප්‍රදීපාගාරයක අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කෙරිණි. මයිලත්තමඩු-මාදවනෙයි තෘණ භූමිය ආශ්‍රිත කිරි ගොවීන්ගේ ගැටලු, ඉඩම් ගැටලු, වනජීවි කලාපයන්ට අයත් වගා බිම් ගැටලු සහ අලි-මිනිස් ගැටුම අවම කර ගැනීමේ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.
ආපදා සහන සහ ප්‍රජා සංවර්ධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් වගා බිම් සහ නිවාස සඳහා වන්දි ගෙවීමේ වැඩසටහන් කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නේය. මීට අමතරව, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සහ ප්‍රජා ශක්ති වැඩසටහනේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරිණි.
















