ශ්‍රී ලංකා රුපියලේ මෑතකාලීන අවප්‍රමාණය මෙරට ආර්ථිකය දුර්වල වීමක ප්‍රතිඵලයක් ලෙස නොව, මැදපෙරදිග ගැටුම්, ඉන්ධන මිල ඉහළ යෑම සහ නැව් ගාස්තු ඉහළ යාම වැනි ගෝලීය සාධකවල බලපෑමක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශය සමඟ එකඟ වන එම සංසදය, රුපියලේ අගය පහළ යෑම පමණක් ආර්ථිකයේ තත්ත්වය මැන බැලීමට ප්‍රමාණවත් නොවන බව අවධාරණය කරයි. මේ වන විට ඉන්දියාව, නේපාලය සහ ඉන්දුනීසියාව ඇතුළු කලාපීය සහ ගෝලීය රටවල් රැසක්ම තම මුදල් ඒකක අවප්‍රමාණය වීමේ පීඩනයට ලක්ව ඇති බවත්, මෙය 2022 වසරේ පැවති විනිමය අර්බුදයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් බවත් සංසදය පැහැදිලි කරයි.
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ වත්මන් රුපියල් චලනය නිවැරදි පසුබිම තුළ තේරුම් ගත යුතු බවයි. ස්ථාවරත්වය සහ විනය යටතේ කළමනාකරණය කරන ලද රුපියලේ මෙම අවප්‍රමාණය අපනයන තරගකාරීත්වය ඉහළ නැංවීමට සහ ශ්‍රී ලංකාවේ බාහිර ආර්ථික ස්ථාවරතාව ශක්තිමත් කිරීමට දායක විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
දුර්වල රුපියලක් යනු ආර්ථිකය අසාර්ථක වීමක් නොවන බවත්, ඇඟලුම් වැනි අපනයන ක්ෂේත්‍ර සඳහා තරගකාරී විනිමය අනුපාතයක් මගින් අපනයන ඉහළ නැංවීමට, රැකියා ආරක්ෂා කිරීමට සහ විදේශ විනිමය ආදායම් ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන බවත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.
විදේශ විනිමය උපයන කර්මාන්තවලට සහය ලබා දීම, අනුමාන මත පදනම් වූ වෙළෙඳපොළ චලනයන් වැළැක්වීම සහ ආර්ථික විශ්වාසය පවත්වා ගැනීම මෙහිදී අතිශය වැදගත් බව JAAF අවධාරණය කරයි. ස්ථාවර ප්‍රතිපත්ති, කාර්යක්ෂම ප්‍රවාහන හා සැපයුම් පද්ධති සහ අඩු මෙහෙයුම් පිරිවැය සමඟ තරගකාරී විනිමය අනුපාතයක් පවත්වා ගැනීම මඟින් ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට තම ස්ථානය ශක්තිමත් කරගත හැකි බව එම සංසදය වැඩිදුරටත් සඳහන් කරයි.














