හැටන් දික්ඔය නගරයේ පිහිටි පැරණි වෙළඳසැලක් තුළ රැඳී සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් තියුණු ආයුධවලින් කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කර ඇති බව හැටන් පොලිසිය පවසයි. මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 82 හැවිරිදි වියේ පසුවූ එස්. කාලිමුත්තු සත්තිවේල් සහ ඔහුගේ බිරිඳ වන 82 හැවිරිදි සගුන්තලා දේවි නැමැති යුවළකි.
පොලිස් විමර්ශනවලට අනුව මෙම වයෝවෘද්ධ යුවළ දිගු කලක් තිස්සේ අදාළ ස්ථානයේ වෙළඳසැල් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුව එය වසා දමා එහිම ජීවත් වී තිබේ. මොවුන්ගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින බැවින් මෙම දෙදෙනා එහි තනිව වාසය කර ඇති බව වාර්තා වේ. කිසියම් පිරිසක් විසින් සිදුකළ මෙම ද්විත්ව ඝාතනයට හේතුව මංකොල්ලකෑමක් ද නැතහොත් පුද්ගලික කෝන්තරයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඝාතකයන් සොයා හැටන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
















