2022 වසරේ පැවති ආකාරයේ දැඩි ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ කළද, එවැනි තත්ත්වයක් කිසිසේත් රට තුළ ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ නිර්මාණය වී ඇත්තේ බාහිර අර්බුදයක් වුවද, එය සාර්ථකව කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අද (22) පෙරවරුවේ අම්පාර, නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් වසර 24කට පසු යළි ආරම්භ කිරීමේ නිල උත්සවයට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, වත්මන් රජය බලයට පත්කිරීමේදී ජනතාව බලාපොරොත්තු වූ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීම, ජාතිවාදය පිටුදැකීම, දූෂිතයන්ට දඬුවම් දීම, සැමට නීතිය සමානව ක්‍රියාත්මක කිරීම සහ දේශපාලකයන්ගේ අසීමිත වරප්‍රසාද කප්පාදු කිරීම වැනි ජනවරමේ අපේක්ෂාවන් වෙනුවෙන් රජය මේ වන විට සැලකිය යුතු වැඩ කොටසක් ඉටු කර ඇති බවයි. විශේෂයෙන්ම තරාතිරම නොබලා නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවත්, දේශපාලකයන්ගේ විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද අහෝසි කර ඔවුන් මහජනතාව වෙනුවෙන් වැඩ කරන පිරිසක් බවට පත් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මැදපෙරදිග කලාපීය යුද තත්ත්වය හේතුවෙන් ඩොලරයේ අගය ඉහළ යෑම සහ ආනයන වියදම් ඉහළ යෑම හමුවේ වුවද, රට තුළ ඉන්ධන, ගෑස්, කිරිපිටි හෝ පොහොර හිඟයක් ඇති වීමට කිසිසේත් ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා සහතික විය. 2022 වසරේ මහ බැංකුවේ තිබුණේ ඩොලර් මිලියන 50ක් වැනි සුළු මුදලක් වුවද, වත්මන් මහ බැංකුව සතුව ඩොලර් මිලියන 7,000කට ආසන්න සංචිතයක් පවතින බවත්, ඉදිරි දිනවලදී තවත් ඩොලර් මිලියන 700ක් ලැබීමට නියමිත බැවින් වෙළෙඳපොළ පීඩනයන් පාලනය කළ හැකි බවත් ඔහු පැහැදිලි කළේය.
රජයේ ශක්තිමත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් 2014 වසරේ සිට සම්පූර්ණයෙන් නතර වී තිබූ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ව්‍යාපෘතිය යළි ඇරඹීමට හැකි වූ බව පැවසූ ජනාධිපතිවරයා, රුපියල් මිලියන 945.04ක් වන එහි සමස්ත ඇස්තමේන්තුගත මුදලින් රුපියල් මිලියන 300ක්ම 2026 අයවැය මඟින් වෙන් කර ඇති බවත්, සමස්ත ඉදිකිරීම් 2027 දෙසැම්බර් 31 වන විට අවසන් කිරීමට නියමිත බවත් ප්‍රකාශ කළේය.














