පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් නිල ඉල්ලීමක් කර තිබේ. කථානායකවරයා සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් අතර අද පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිල එක්ස් (X) ගිණුමේ විශේෂ සටහනක් ද තබා ඇත. ශ්‍රී ලංකා රුපියල මේ වන විට දැඩි පීඩනයකට ලක්ව ඇති නමුත් පවතින තත්ත්වයට රජය සතුව පැහැදිලි පිළිතුරු හෝ සැලසුම් නොමැති බව විපක්ෂ නායකවරයා එහිදී චෝදනා කරයි. තත්ත්වය තවදුරටත් නරක අතට හැරීමට පෙර මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංක සහ ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමක් බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා, ඒ වෙනුවෙන් මෙම හදිසි පාර්ලිමේන්තු විවාදය කඩිනමින් ලබාදෙන ලෙස කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.















