උදෑසන නින්දෙන් අවදි වූ සැනින් ජංගම දුරකථනය පරිශීලනය කිරීමට පෙළඹීම වෙනුවට, එම මුල් මිනිත්තු පහක කාලය තමන්ගේ මනස ඒකාග්‍ර කරගැනීම සහ ස්වයං විමර්ශනය (Reflection) වෙනුවෙන් යොදා ගැනීම අතිශය වැදගත් බව ප්‍රවීණ මනෝ වෛද්‍ය, මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා පවසයි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පැවැති විශේෂ දේශනයකට එක්වෙමින් මහාචාර්යවරයා මේ බව අවධාරණය කළේය. ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා නීරෝගී සහ ක්‍රියාශීලී මනසක් පවත්වා ගැනීමේ වැදගත්කම ඔහු එහිදී පෙන්වා දුන්නේය.
මනුෂ්‍යයෙකුට ජීවිතය ජය ගැනීම සඳහා ජීව ගුණයෙන් සපිරි (Vitality) මොළයක ක්‍රියාකාරීත්වයක් අත්‍යවශ්‍ය වන නමුත්, වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් තම මොළයෙන් නිසි ප්‍රයෝජන නොගන්නා බව මහාචාර්යවරයා සඳහන් කළේය. සමාජය තුළ සාධනීය සහ යහපත් වෙනසක් ඇති කිරීමට කැමැත්තක් දක්වන පිරිස් වෙත විවෘත ආරාධනයක් කළ ඔහු, “ලෝකය වෙනස් කරන්න යමක් කරන්න අවශ්‍ය අය මට ලියන්න” යැයි ද කියා සිටියේය. එමෙන්ම අතීතයේදී ඉංග්‍රීසි කතා කරන ඉහළ පැලැන්තියේ පිරිස්වලට පමණක් සීමාවී තිබූ ‘උපදේශන’ (Counseling) සංකල්පය, මහාචාර්ය රණවක මහතාගේ කැපවීම හේතුවෙන් මෙරට පොදු මහජනතාව අතරට රැගෙන යාමට හැකිවූ බව ද මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා වැඩිදුරටත් සිහිපත් කළේය.














