ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ, පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා (New Year’s Eve) සිය 5 වන සහ අවසන් කේතුකාවෙන් නිමාව දුටු ‘Stranger Things’ ටෙලි නාට්‍ය මාලාව, නෙට්ෆ්ලික්ස් (Netflix) ඉතිහාසයේ නවතම වාර්තාවක් තබමින් ඇමරිකාවේ සුප්‍රසිද්ධ ‘ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරය’ (Smithsonian) වෙත ඇතුළත් වූ ප්‍රථම නෙට්ෆ්ලික්ස් නිර්මාණය බවට පත්ව තිබේ. ඒ අනුව එහි ප්‍රධාන චරිතයක් වන ‘ඉලෙවන්’ (Eleven – Millie Bobby Brown) විසින් පළමු වන කේතුකාවේදී (Season 1) හැඳ සිටි ඇගේ අනන්‍යතාවය විදහා දක්වන සුප්‍රසිද්ධ රෝස පැහැති ගවුම ඇතුළත් ඇඳුම් කට්ටලය මෙලෙස ජාතික එකතුවක් ලෙස කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර ඇත.
ස්මිත්සෝනියන් ඇමරිකානු ඉතිහාසය පිළිබඳ ජාතික කෞතුකාගාරයේ විනෝදාස්වාද අංශයේ පාලක (Curator) රයන් ලින්ටල්මන් (Ryan Lintelman) විසින් හොලිවුඩ් ෆොරෙවර් (Hollywood Forever) සුසාන භූමියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවැති නෙට්ෆ්ලික්ස් විශේෂ උත්සවයකදී මෙම නිල පරිත්‍යාගය ප්‍රකාශයට පත් කරන ලදී. මෙම අවස්ථාවට ‘Stranger Things’ හි නිර්මාණකරුවන් වන මැට් සහ රොස් ඩෆර් (Duffer Brothers), අධ්‍යක්ෂ සහ විධායක නිෂ්පාදක ෂෝන් ලෙවී (Shawn Levy) මෙන්ම ප්‍රධාන නළු නිළියන් වන ඩේවිඩ් හාබර්, නටාලියා ඩයර්, ජේමි කැම්බල් බවර් සහ නෝවා ෂ්නැප් ද සහභාගී වූහ. විශේෂත්වයක් වන්නේ මෙම කෞතුකාගාරය පසුබිම් කරගනිමින් 2009 වසරේ තිරගත වූ ප්‍රකට ‘Night at the Museum: Battle of the Smithsonian’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ද මෙහි සිටි ෂෝන් ලෙවී විසින්ම වීමයි.
එහිදී අදහස් දැක්වූ රයන් ලින්ටල්මන් මහතා කියා සිටියේ, ‘Stranger Things’ කතා මාලාව හරහා කාලය අභිබවා යන, ඇමරිකානු සමාජයේ බලධාරීන් සහ ෆෙඩරල් රජය කෙරෙහි පවතින සැකය මෙන්ම විද්‍යාවේ නාමයෙන් සිදුවන සදාචාර විරෝධී ක්‍රියාවන් මනාව සමාජයට ඉදිරිපත් කළ බවයි. කිම්බර්ලි ඇඩම්ස් සහ මැල්ගෝසියා ටුර්සාන්ස්කා විසින් නිර්මාණය කරන ලද මෙම ඇඳුම හරහා, කිසිදු පෞද්ගලිකත්වයක් නොමැතිව රෝහල් ගවුම් පමණක් ඇඳ සිටි ‘ඉලෙවන්’ නමැති දැරිය, පළමු වරට රෝස පැහැති ගවුම සහ රන්වන් පැහැති හිසකෙස් (Wig) පළඳිමින් තමන් ලස්සන බව පවසන අවස්ථාව, ඇය තමන්ගේ ආත්මීය ශක්තිය සහ ස්වයං අවබෝධය සොයා යන ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














