බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගිය දිනක ඇති වූ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා තමාට පොලිසියෙන් කැඳවීමක් ලැබී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, ඒ සඳහා තමන් එළඹෙන සඳුදා දිනයේදී තලංගම පොලිසිය වෙත ගොස් ප්‍රකාශය ලබා දෙන බවයි.
වත්මන් ආණ්ඩුව නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බව පැවසුවද එය වචනයට පමණක් සීමා වී ඇති බව චෝදනා කරන ඒ මහතා, තමන් රණවිරු ස්මාරකය වෙත ගියේ වීරෝදාර රණවිරුවන්ට උත්තමාචාරය පුද කිරීමට පමණක් බවත්, එවැනි මහජනතාවට විවෘත පොදු ස්ථානයකට යාමට බාධා කිරීම අසාධාරණ බවත් වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා:
“සියලු රට වැසියන්ට තියෙන අයිතිය අනුව රණවිරු ස්මාරකයට මල් තියලා, වීරෝදාර රණවිරුවන්ට අපේ උත්තමාචාරය පුද කරන්න අපි ගියා. ඒකට බාධා කළා. බාධා කරලා දැන් අපිට කියනවා ප්‍රකාශයක් ගන්න පොලිසියට එන්න කියලා. අපි සඳුදා උදේ යනවා තලංගම පොලිසියට අපේ ප්‍රකාශය දෙන්න.
ජනාධිපතිවරයා නීතිය කාටත් එක හා සමානයි කියලා ප්‍රකාශ කළත්, අධිකරණ අමාත්‍යංශයට අයිති මල්වානේ මන්දිරය අත්පත් කරගත්ත පිරිසට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. අපි ගියේ පොදු ස්ථානයකට, ඊට කලින් අවුරුද්දෙත් අපි ඒ වැඩේම කළා. අපිට නීතිය එක විදිහක්, නමුත් මල්වානේ මන්දිරය අත්පත් කරගන්නා විට නීතිය ගොළුයි, නීතිය අකර්මන්‍යයි.”














