පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් ආශ්‍රිතව පවුල් 6,907ක පුද්ගලයන් 1,192ක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේදී හැට හතර හැවිරිදි පුද්ගලයෙකු ජල පහරකට හසුවී ජීවිතක්ෂයට පත්ව ඇති බව ද තහවුරු කර තිබේ. දරුණු කාලගුණය නිසා නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස අටසිය හතකට අර්ධ හානි සිදුව ඇත. පීඩාවට පත් ජනතාව සඳහා එම ප්‍රදේශවල සුරක්ෂිත මධ්‍යස්ථාන දාහතක් පිහිටුවා ඇති අතර පවුල් තුන්සිය පනස් එකක් දැනට එම මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. කළු ගඟ සහ අත්තනගලු ඔය ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ සඳහා නිකුත් කර ඇති සුළු ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකව පවතී.
අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ මාර්ග සහ දුම්රිය ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ ඩිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රිවස්ටන් ප්‍රදේශයේ මාර්ග මේ වන විට සැහැල්ලු වාහන ගමනාගමනය සඳහා පමණක් විවෘත කර ඇත. මහනුවර දිස්ත්‍රික්කයේ උඩදෙල්තොට පාලම ගිලා බැසීම හේතුවෙන් මහනුවර සිට තලවතුගොඩ දක්වා මාර්ගය වසා දමා ඇති අතර මේ වන විට එම ස්ථානයේ තාවකාලික පාලමක් ඉදි කිරීමේ කටයුතු ප්‍රාදේශීය මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ මහනුවර දිස්ත්‍රික් ඒකකය විසින් සිදු කරමින් පවතී. රියදුරන් සඳහා අම්බලමන සහ බෙල්වුඩ් හන්දිය හරහා ගලහ නගරයට පිවිසෙන විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇත. දුම්රිය මාර්ගයට අවහිරතා සිදුවීම හේතුවෙන් මන්නාරම සහ මැදවච්චිය අතර දුම්රිය ධාවනය අත්හිටුවා ඇති අතර උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ඉහළකෝට්ටේ අතර දුම්රිය ධාවනයට බාධා සිදුවී ඇති නිසා දැනට දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වන්නේ ඉහළකෝට්ටේ සිට බදුල්ල දක්වා පමණි.














