අට හැවිරිදි වියේ පසුවූ රමීසා නැමැති කුඩා දැරියක අමානුෂික ලෙස දූෂණය කර ඝාතනය කිරීමේ ඛේදජනක පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වන අතර, මේ වන විට එම සිදුවීම මුළු මහත් ලෝකයම කම්පනයට පත් කිරීමට සමත්ව තිබේ.
විදෙස් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තාවලට අනුව මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ මෙසේය:
අතුරුදන් වීම සහ සෝදිසි කිරීම්:
පසුගිය අඟහරුවාදා දින උදෑසන පුංචි රමීසා සුපුරුදු පරිදි පාසල් යාමට සූදානම් වෙමින් සිට ඇත. ඔවුන් පදිංචිව සිටි මහල් නිවාස (Flat) සංකීර්ණයේදී ඇයගේ මවට එක්වරම දැරිය කෑගසන ශබ්දයක් ඇසී තිබේ. වහාම ක්‍රියාත්මක වූ මව තම දියණිය සෙවීමේදී, ඔවුන්ගේ නිවස අසල පිහිටි වෙනත් නිවසක් ඉදිරිපිට තිබී රමීසාගේ සපත්තුවක් හමුවී ඇත.
භීෂණකාරී සිරුරු කොටස් හමුවීම:
අදාළ නිවසේ දොරවල් දමා වසා තිබීම හේතුවෙන්, සැකය මත පිරිස එකතු වී එහි දොර කඩා ඇතුළු වී පරීක්ෂා කර තිබේ. එහිදී නිවසේ තිබූ ඇඳක් යට සඟවා තිබූ රමීසාගේ හිස වෙන් කරන ලද කඳ කොටස සොයාගැනීමට හැකිව ඇත. පසුව සිදුකළ සෝදිසි කිරීම්වලදී දැරියගේ හිස කොටස එම නිවසේ නානකාමරයේ තිබූ බාල්දියක් (Bucket) තුළ බහා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සැකකරුවන් කොටු වෙයි:
මෙම බරපතළ අපරාධය සිදුකළ ප්‍රධාන දූෂකයා සහ ඊට ආධාර අනුබල දෙමින් මළසිරුර සඟවා තැබීමට උදව් කළ ඔහුගේ බිරිඳ ද මේ වන විට බංග්ලාදේශ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත. අහිංසක රමීසා වෙනුවෙන් සාධාරණය ඉල්ලා සහ අපරාධකරුවන්ට උපරිම දඬුවම් පමුණුවන ලෙස බල කරමින් මේ වන විට බංග්ලාදේශයේ දහස් සංඛ්‍යාත ජනතාවක් වීදි බැස විරෝධතාවල නිරත වෙති.
මෙවැනි ඛේදවාචක ඕනෑම රටක, ඕනෑම මොහොතක සිදුවීමේ අවදානමක් පවතින බැවින් හයක් හතරක් නොතේරෙන කුඩා දරුවන් පිළිබඳව මීට වඩා සිය දහස් ගුණයකින් අවධානයෙන් සහ සුපරීක්ෂාකාරීව පසුවන ලෙස ලාංකීය සමාජයේ දෙමාපියන්ගෙන් ද සමාජ ක්‍රියාකාරීහු දැඩිව ඉල්ලා සිටිති.
















