තුර්කියේ දේශපාලන අර්බුදය දැඩි කරමින්, එරට ප්‍රධාන විපක්ෂය වන ‘රිපබ්ලිකන් ජනතා පක්ෂයේ’ (CHP) ප්‍රධාන මූලස්ථානය වෙත ඊයේ (24) කඩාවැදුණු කැරලි මර්දන පොලිසිය, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් එහි සිටි බලයෙන් පහකළ විපක්ෂ නායකත්වය බලහත්කාරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා තුර්කි අධිකරණයක් විසින් ලබාදුන් තීන්දුවකට අනුව, 2023 වසරේ පැවති පක්ෂ මහා සම්මේලනයේ ඡන්ද විමසීම්වල අක්‍රමිකතා සිදුව ඇති බව පවසමින් වත්මන් CHP විපක්ෂ නායක ඔස්ගුර් ඔසෙල් (Ozgur Ozel) මහතාව ධුරයෙන් පහකිරීමට නියෝග කෙරුණි. එමෙන්ම, ඔහු වෙනුවට 2023 ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති තායිප් අර්ඩගන්ට පරාජය වූ හිටපු පක්ෂ නායක කෙමාල් කිලිච්දාරොග්ලු (Kemal Kilicdaroglu) වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත එම ධුරයේ පිහිටුවීමටද අධිකරණය නියෝග කළේය. මෙම නියෝගය බලාත්මක කරමින් අන්කාරා (Ankara) අගනුවර ආණ්ඩුකාරවරයා විසින් ඊයේ දින මූලස්ථාන ගොඩනැඟිල්ල හිස් කිරීමට නියෝග කිරීමත් සමඟ පොලිසිය මෙලෙස බලය පාවිච්චි කරමින් ගොඩනැඟිල්ලට ඇතුළු වී ඇත.
පොලිස් මැදිහත් වීමත් සමඟ ගොඩනැඟිල්ලෙන් පිටතට පැමිණි ඔස්ගුර් ඔසෙල් මහතා, මෙම ක්‍රියාවලිය වත්මන් රජය විසින් මෙහෙයවූ “අධිකරණ කුමන්ත්‍රණයක්” (Judicial Coup) ලෙස දැඩිව හෙළා දුටුවේය. ඉන් අනතුරුව ඔහු තම ආධාරකරුවන් දහස් ගණනක් සමඟ කිලෝමීටර් 6ක් දුරින් පිහිටි තුර්කි පාර්ලිමේන්තුව දෙසට දැවැන්ත විරෝධතා පාගමනක් මෙහෙයවූ අතර, එහිදී රැස්ව සිටි ජනතාව හිටපු නායක කිලිච්දාරොග්ලු ද්‍රෝහියෙකු ලෙස හඳුන්වමින් දැඩි ලෙස විරෝධය පෑහ. පක්ෂය සතුරු ග්‍රහණයෙන් මුදවා ගන්නා තෙක් තම අරගලය වීදි පුරා සහ චතුරස්‍ර පුරා අඛණ්ඩව ගෙන යන බව ඔසෙල් මහතා මෙහිදී අවධාරණය කළේය.
















