අතුරලිය, කොඩිගහකන්ද ප්‍රදේශයේ ජනතාව වසර 40කට වැඩි කාලයක් මුහුණ දුන් ප්‍රවාහන දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා, ප්‍රවීණ මාධ්‍යවේදී උපුල් පිනිඳිය මහතා සිදුකළ සුවිශේෂී පරිත්‍යාගයක් පිළිබඳව වාර්තා වේ. අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නුවන් රත්නායක මහතා කළ ඉල්ලීමකට අනුව, තම පවුලේ එකඟතාවය ඇතිව පිනිඳිය මහතා තමන් සතු ලක්ෂ 40කට අධික වටිනාකමකින් යුත් පෞද්ගලික ඉඩම අතුරලිය ප්‍රාදේශීය සභාව වෙත පවරා දුන්නේ නව මාර්ගයක් ඉදි කිරීමේ අරමුණෙනි.
මෙම පරිත්‍යාගය සඳහා පිනිඳිය මහතාගේ ආදරණීය බිරිඳ වන කඹුරුපිටිය මූලික රෝහලේ සායන භාර හෙද නිලධාරිනී සාගරිකා කිත්සිරි මහත්මිය සහ දරුවන් දෙපළ වන සුනෙත් චින්තක සහ ඉඳුනිල් තාරුකා යන මහත්ම මහත්මීන් සිය පූර්ණ සහයෝගය ලබා දී ඇත.
මෙම නව මාර්ගය ඉදි කිරීමත් සමඟ, මීට පෙර අකුරැස්ස-මාතර ප්‍රධාන මාර්ගයට පිවිසීමට කිලෝමීටර් 3කට අධික දුෂ්කර මගක් ගෙවීමට සිදු වූ කොඩිගහකන්ද ප්‍රදේශවාසීන්ට, ඉතා කෙටි මීටර් 500ක දුරකින් ගමනාගමන පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා විය. අතුරලිය ප්‍රාදේශීය සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය පසුගිය (21) දින ජනතා අයිතියට පත් කරනු ලැබීය.
ඉඩකඩම් සහ මායිම් වෙනුවෙන් ගැටුම් ඇති කරගන්නා වර්තමාන සමාජය තුළ, පොදු යහපත උදෙසා මෙවැනි වටිනා දේපළක් පරිත්‍යාග කළ උපුල් පිනිඳිය මහතා ප්රමුඛ පවුලේ සැවොම, මුළු රටටම මහඟු ආදර්ශයක් බව ප්‍රදේශවාසීහු පවසති. මෙම සත්කාරය සාර්ථක කරගැනීමට අතුරලිය ප්‍රාදේශීය සභාවේ සභාපති නුවන් රත්නායක, අමාත්‍ය සරෝජා ෆෝර්රාජ් මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම් නයනානන්ද ගමගේ සහ බලකාවල ප්‍රජා ශක්ති සභාපති හරුන් ලංකා යන මහත්ම මහත්මීන් ද විශාල දායකත්වයක් ලබා දී ඇත.
















