මැතිවරණ පවත්වන දින වකවානු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ආණ්ඩු පාර්ශ්වයේ සිටින දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
පළාත් සභා මැතිවරණය මෙම වසර (2026) තුළ පැවැත්වීමට නොහැකි වනු ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. රටක මැතිවරණයක් පවත්වනවා ද නැද්ද යන්න හෝ එය පවත්වන දිනය තීරණය කිරීමේ නීත්‍යානුකූල බලය පැවරී ඇත්තේ පාර්ලිමේන්තුවට සහ මැතිවරණ කොමිෂන් සභාවට පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඊයේ (24) පානදුර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජන රැලියක් අමතමින් නාමල් රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය. එහිදී වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළ ඒ මහතා, අමූලික බොරු සහ ව්‍යාජ බලාපොරොත්තු ලබාදෙමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුව, අද වන විට රටේ තරුණ පරපුර මෙන්ම ගොවි සහ තේ වගාකරුවන් ද මුළුමනින්ම අසරණ තත්ත්වයකට පත් කර ඇතැයි වැඩිදුරටත් සඳහන් කළේය.














