සම්බුදු තෙමඟුල සමරන පූජනීය වෙසක් සතිය තුළ මහනුවර මාවිල්මඩ ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයක මස් පිණිස ගවයන් 14 දෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවත්, එය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් මහනුවර මහ නගර සභාව වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.
මහනුවර ඓතිහාසික ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ සහ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිලමේ මෙන්ම මහනුවර හිටපු මහ නගරාධිපතිවරයෙකු ද වන මහීන්ද්‍ර රත්වත්තේ මහතා විසින් වත්මන් මහනුවර පුරපති චන්ද්‍රසිරි විජේනායක මහතා, නියෝජ්‍ය පුරපතිවරයා, විපක්ෂ නායකවරයා සහ නාගරික කොමසාරිස්වරිය වෙත මෙම ලිපිය යොමු කර ඇත.
හිටපු පුරපතිවරයා සිය ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, වසර 150කට අධික කාලයක් මහනුවර නගරයේ පවත්වාගෙන ගිය ප්‍රධාන ගව ඝාතකාගාරය ද මල්වතු අස්ගිරි උභය මහා විහාරීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි 2013 මාර්තු 15 වන දින සිට සම්පූර්ණයෙන්ම වසා දැමීමට එවකට පැවති නගර සභා සම්මුතියෙන් පියවර ගත් බවයි. එබැවින්, ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින මහනුවර පූජා නගරය සත්ව ඝාතනයෙන් තොර නගරයක් ලෙස තවදුරටත් ආරක්ෂා කර ගැනීමටත්, මෙම වෙසක් සතියේ සිදු කිරීමට යන සත්ව ඝාතනය වැළැක්වීමටත් වහාම මැදිහත් වන්නැයි මහීන්ද්‍ර රත්වත්තේ මහතා වත්මන් නගර සභා බලධාරීන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටී.














