පැවති දරුණු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින උඩදුම්බර මැතිවරණ කොට්ඨාසයට අයත් ගංදෙකේ කෝරළයේ ගම්මාන රැසකට වන අලි රංචුවක් කඩා වැදීම හේතුවෙන් ජනතාව දැඩි අසරණභාවයට පත්ව සිටිති. උඩදුම්බර කන්දේගම, තලගුණේ, දඹගහපිටිය, කළුගල සහ හංවැල්ල යන ගම්මානවලට මෙලෙස වන අලි ප්‍රහාර එල්ල වී ඇති බව වාර්තා වේ.
ගම් වැදුණු වන අලි රංචුව විසින් නිවාස කිහිපයකට බරපතළ ලෙස හානි සිදු කර ඇති අතර, අස්වැන්න නෙළීමට ආසන්න වී වගාවන්, පොල්, කෙසෙල්, කොස්, දෙල් සහ එළවළු වගාවන් විශාල වශයෙන් විනාශ කර දමා තිබේ. පසුගිය 22 වන දින රාත්‍රියේ ආඬිදෙනිය වැවේ කුඹුරු ආශ්‍රිත ප්‍රදේශයේ පිහිටි නිවාසවලට ද වන අලි කඩා වැදී ඇති අතර, එහිදී ගම්වාසීන් පවුල් පිටින් පළාගොස් දිවි බේරාගෙන ඇත.
තමන් මුහුණ දී ඇති මෙම බිහිසුණු වන අලි තර්ජනය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර ඇති බව පවසන ප්‍රදේශවාසීන්, මෙම අලි රංචුව වහාම වෙනත් වනාන්තර ප්‍රදේශයකට පළවා හැරීමට පියවර නොගතහොත් මිනිස් ජීවිත හානි සිදුවීමේ දැඩි අවදානමක් පවතින බව අවධාරණය කරති.














