ප්රධාන දුම්රිය මාර්ගයේ මීරිගම සහ අඹේපුස්ස දුම්රිය ස්ථාන අතර පාලම අසලදී අද (27) පස්වරුවේ සිදුවූ දරුණු අනතුරක් හේතුවෙන් ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම අවස්ථාවේ ධාවනය වෙමින් පැවති දුම්රිය එන්ජිමක්, දුම්රිය මාර්ගයේ සංඥා පද්ධති නඩත්තු කටයුතුවල (Signal Maintenance) නිරත වෙමින් තිබූ බැකෝ යන්ත්රයක (Backhoe) එකවරම ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර හේතුවෙන් ප්රධාන දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් (One Track) මේ වන විට සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර ඒ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල, මහනුවර සහ කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රිය මෙන්ම ධාවනය වීමට නියමිත දුම්රිය ද සැලකිය යුතු වේලාවක් ප්රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කරයි. අවහිර වූ දුම්රිය මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය ඉංජිනේරු සහ නඩත්තු අංශ මේ වන විටත් එම ස්ථානයට ගොස් හදිසි ප්රතිසංස්කරණ කටයුතු අරඹා තිබේ.














