පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් ජාතික නිවාස සංවර්‌ධන අධිකාරියේ 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්‌තා සහ වර්‌තමාන කාර්‌යසාධනය පරීක්ෂා කිරීමෙන් පසු, එහි සේවකයන් බඳවාගත් ආකාරය පිළිබඳව විධිමත් වාර්‌තාවක් කැඳවීමට පියවර ගෙන තිබේ. පැවති දේශපාලන අධිකාරීන්ගේ බලපෑම මත සිදුකළ අවිධිමත් බඳවාගැනීම් සහ උසස්‌වීම් හේතුවෙන් අධිකාරිය පවත්වාගෙන යාමට නොහැකි අසීරු තත්ත්වයක් උදාවී ඇති බව මෙහිදී නිරීක්ෂණය වී ඇති අතර, මාස 06ක් ඇතුළත මානව සම්පත නිවැරදිව කළමනාකරණය කරන ලෙස කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මීට අමතරව, මිශ්‍ර සංවර්‌ධන ව්‍යාපෘතියක් සඳහා විදේශීය සමාගමකට ලබා දී තිබූ කොළඹ ඩාර්‌ලි පාරේ පිහිටි අක්කර 01යි පර්‌චස් 26.5 ක වටිනා රාජ්‍ය ඉඩමක්, නියමිත කොන්දේසි උල්ලංඝනය කරමින් වෙනත් සමාගම් වෙත අවිධිමත් ලෙස විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් ද කෝප් කමිටුවේදී හෙළිදරව් විය. මෙම වංචනික ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණයේ නඩු 03ක් විභාග වන අතර, ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව (CID) මඟින් ද විශේෂ විමර්ශනයක් පවත්වාගෙන යනු ලබයි.
එමෙන්ම, නාවල පරංගියා කුඹුර ප්‍රදේශයේ පිහිටි අධිකාරිය සතු තවත් ඉඩමක් කොන්දේසි සහිත සින්නක්කර ඔප්පුවක් මඟින් පෞද්ගලික සමාගමකට පැවරීමෙන් පසු, එම සමාගම ඉන් කොටසක් වෙනත් පාර්‌ශ්වයකට පවරා ඉතිරි කොටස පෞද්ගලික බැංකුවකට උකස් කර මුදල් ලබාගැනීමේ වංචාවක් ද මෙහිදී අනාවරණය වී තිබේ. අදාළ ඉඩම්වල ඔප්පු අධිකාරිය විසින් අවලංගු කිරීම නිසා චූදිත පාර්‌ශ්වයන් නඩු පවරා ඇති අතර, මෙම සියලුම නඩුකරයන් සහ අධිකරණයේ තැන්පත් කර ඇති මුදල් පිළිබඳව ද කඩිනමින් වාර්‌තාවක් ලබා දෙන ලෙස කෝප් කමිටු සභාපතිවරයා නියෝග කළේය.














