රථවාහන වැරදි සිදුකරන රියැදුරන් CCTV දර්ශන මඟින් හඳුනාගත් බව පවසමින්, ශ්‍රී ලංකා පොලීසියේ නමින් ව්‍යාජ SMS සහ Whatsapp පණිවිඩ යොමුකරමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය වංචාවක් පිළිබඳව පොලිස් මාධ්‍ය අංශය විසින් මහජනතාව වෙත විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
වංචාකරුවන් විසින් ව්‍යාජ දුරකථන අංක භාවිත කරමින් රියැදුරන් වෙත පණිවිඩ යොමුකර, අදාළ රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා https://thecourierguy.cu.cc/lk නමැති ව්‍යාජ වෙබ් අඩවියට පිවිසෙන ලෙස දන්වනු ලබයි. මෙම වෙබ් අඩවිය රජයේ නිල ගෙවීම් පද්ධතියක් වන govpay වෙබ් අඩවියට සමාන ලෙස මහජනතාව නොමඟ යැවීමේ අරමුණින් සම්පූර්ණයෙන්ම ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති එකකි. මෙයට පිවිසෙන රියැදුරන් ලවා දඩ මුදල් ගෙවීමේ මුවාවෙන් ඔවුන්ගේ බැංකු ණය කාඩ්පත් (Credit/Debit Cards) තොරතුරු ඇතුළු පෞද්ගලික දත්ත ඉතා සූක්ෂම ලෙස සොරකම් කිරීමට වංචාකරුවන් කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.
දඩ මුදල් ගෙවිය යුතු නිවැරදි ක්‍රමවේදය:
ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කරන්නේ වත්මන් ක්‍රමවේදය අනුව යම් රථවාහන වරදක් සිදුකළ විටෙක, ඒ පිළිබඳව පොලිස් නිලධාරියෙකු විසින් සෘජුවම දැනුම් දී රියැදුරු වරද පිළිගත් පසුව පමණක් නිල govpay යෙදවුම හරහා දඩ පත්‍රිකාවක් නිකුත් කරන බවයි. එම නිසා, ලැබෙන ව්‍යාජ පණිවිඩවල ඇති සබැඳි (Links) වෙත පිවිසීමෙන් වළකින ලෙසත්, මෙවැනි සයිබර් වංචා පිළිබඳව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















