මේ දිනවල පවතින මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, වෙසක් සහ පොසොන් දන්සල් පැවැත්වීමේදී සිසිල් බීම වෙනුවට ජලය උණු කර සකස් කරන තේ, කෝපි, රණවරා සහ බෙලිමල් වැනි ඖෂධීය උණුසුම් පාන වර්ග ලබාදීම වඩාත් සුදුසු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ තිලංග රුවන්පතිරණ මහතා අවධාරණය කළේ මෙය සිසිල් බීම දන්සල් තහනම් කිරීමක් නොව, රෝග පාලනය වෙනුවෙන් කරනු ලබන කාරුණික ඉල්ලීමක් බවයි. අපිිරිසිදු ජලය හා ආහාර මඟින් රෝගය බෝවීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බැවින් දන්සල් සඳහා භාවිත කරන ජල මූලාශ්‍රවල පිරිසිදුකම අනිවාර්යයෙන්ම තහවුරු කරගත යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ අතර, මෙවර දන්සල් පවත්වන සියලුම පාර්ශ්වයන් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) නිලධාරීවරයා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) වෙත ගොස් අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කර තිබේ. බත් හෝ වෙනත් ආහාර දන්සල් පවත්වන්නේ නම්, අමුවෙන් ආහාරයට ගන්නා පලා වර්ග හෝ සලාද වර්ග මෙවර ආහාර වට්ටෝරුවලට ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් දෙයි. එමෙන්ම සකස් කරන ආහාර පැය 4ක් ඇතුළත ජනතාව වෙත ලබාදී අවසන් කළ යුතු අතර, දන්සල් භූමිය තුළ නිසි කසළ කළමනාකරණයක් සිදු නොකළහොත් ඩෙංගු රෝග ව්‍යාප්තියක් ද සිදුවිය හැකි බව වෛද්‍ය විශේෂඥවරයා වැඩිදුරටත් අනතුරු ඇඟවීය.
















