පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් 2017 වසරේ සිට බලයට පත් වූ ජනාධිපතිවරුන් තිදෙනෙකුටම ස්ථිර තීන්දුවක් ගෙන එය නිසි කලට පැවැත්වීමට නොහැකි වී ඇති බව කැෆේ (CaFFE) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන් මහතා පවසයි. යහපාලන රජයේ මෛත්‍රීපාල සිරිසේන, 2019 දී බලයට පත් ගෝඨාභය රාජපක්ෂ සහ ඉන් අනතුරුව පත් වූ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් තිදෙනාටම මේ සම්බන්ධයෙන් නිසි තීන්දුවක් ගැනීමට නොහැකි වූ බව හෙතෙම ප්‍රකාශ කරයි.
වත්මන් රජය ද බලයට පත්ව වසරක් ඇතුළත පළාත් සභා ඡන්දය පවත්වන බවට ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පොරොන්දු වී, ඒ සඳහා අය-වැයෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර තිබියදී, මෙම වසරේදී මැතිවරණයක් නොපවත්වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කර ඇති බව මකීන් මහතා පෙන්වා දෙයි. ජනතාව ඉදිරියේ දුන් පොරොන්දුවක් මෙසේ ලෙහෙසියෙන් වෙනස් කිරීම සුදුසු නොවන බවත්, පාර්ලිමේන්තුවේ මුදල් වෙන් කර පසුව එම මුදල් වෙනත් කාර්යයකට වියදම් කළ බව පැවසීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවත් කැෆේ සංවිධානය අවධාරණය කරයි. 2023 වසරේදී එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් නොමැති බව පවසමින් පළාත් පාලන මැතිවරණය කල් දැමූ අවස්ථාවේදී ඊට දැඩි විරෝධයක් පළ කළ වත්මන් පාලකයන්, අද වන විට සිදුකරමින් පවතින්නේ ද ඒ හා සමාන ක්‍රියාවක් බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතු බවට සමාජය තුළ කතාවක් නිර්මාණය වී ඇති බැවින්, රජය මැතිවරණය නොපවත්වා ඊට විකල්ප විසඳුමක් යෝජනා කරන්නේ නම් එය වහාම මහජනතාවට හෙළි කළ යුතු බව මනාස් මකීන් මහතා පවසයි. පවතින මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා ඡන්දය හැකි ඉක්මනින් පැවැත්විය යුතු අතර, එය දිනකින් හෝ කල් දමන්නේ නම් වත්මන් රජය ද ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන රජයක් ලෙස ලෝකයම පිළිගනු ඇතැයි ද කැෆේ සංවිධානය වැඩිදුරටත් අනතුරු අඟවයි.
















