අප විසින් සිදුකල හෙලිදරව් කිරීම් වලට අදාලව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ අංක 03 යටතේ දක්වා ඇති ”ආබාධිත හමුදා නිලධාරියෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්යක්ෂ ලෙස පත්කර වැටුප් දෙකක් ලබාදීලා” යන මාතෘකාවට අදාලව උපකුලපතිවරයා විසින් කියා තිබෙන අමූලික බොරු සහ සගවා තිබෙන ඇත්ත පිලිබදව කාරණා කිහිපයක් හෙලිදරව් කිරීම අත්යාවශ්යවය.
උපකුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනය පිටු දෙකකින් යුක්තය.එහි සම්පූර්ණ පිටුවක ප්‍රමාණය වැයකර ඇත්තේ මෙම සිදුවීමට අදාල කරුණු කීමටය.උපකුලපති මධුජිත්ට මෙම කාරණයේ ඇති වැදගත්කම එයින්ම වැටහේ.
අධ්යක්ෂ (ආරක්ෂක)ගේ පත්කිරීම ”නීත්‍යාණුකූලව සිදුව ඇති බව” උපකුලපති කියයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිපාලනයේ ”නීත්‍යාණුකූල ක්‍රියාවල” නිරුවත පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්ත වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයෙකුට එරෙහිව ලබාදුන් මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුවෙන් පැහැදිලිව පෙනී ගොස් ඇති බැවින් ඒ පිලිබද වැඩිදුර පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.
උපකුලපතිවරයා එවැනි පත්කිරීමක් සිදුකර තිබෙන බවද, ඔහුට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වැටුප් ගෙවන බවද, අදාල පුද්ගලයා යුධ හමුදාවේ විශ්‍රාමිකයෙකු බවද පිලිගනී.ඒ අනුව ඔහු අපගේ හෙලිදරව්වෙහි මූලික හරය පිලිගෙන තිබේ. වරද්දාගෙන තිබෙන්නේ, අදාල ක්‍රියාවලියේ වැරදි වසා ගැනීමට කටයුතු කිරීමේදීය.
අපගේ ප්‍රවෘත්තියේ මාතෘකාව වන්නේ ”පේරාදෙණියේ අධ්යක්ෂ (ආරක්ෂක) ලෙස ආබාධිත මේජර්වරයෙක් පත්කරලා යුධ හමුදාවෙන් සහ පේරාදෙණියෙන් වැටුප් දෙකක් අරගෙන” යන්නය.
මහාචාර්ය මධුජිත් එය තේරුම් ගෙන තිබෙන්නේ ”ආබාධිත හමුදා නිලධාරියෙකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්යක්ෂ ලෙස පත්කර වැටුප් දෙකක් ලබාදීලා” ලෙසිනි. මෙය කරුණු සම්පූර්ණයෙන්ම වැරදි ලෙසට වටහා ගැනීමකි. අදාල ප්‍රවෘත්තිය නිවී සැනසිල්ලේ නැවත කියවා බලන මෙන් උපකුලපතිවරයාට ආරාධනා කර සිටීමට අප කැමතිය.
අප කිසිවිට අදාල පුද්ගලයාට පේරාදෙණියෙන් වැටුප් දෙකක් ලබාදෙන බවක් කියා නැත. අප කියන්නේ මහජන බදු මුදලින් එකවිට වැටුප් දෙකක් ලබා ගැනීමට කිසිදු රාජ්‍ය සේවකයෙකුට හැකියාවක් නැති බවය. මෙම පුද්ගලයා එකම අවස්ථාවේදී යුධ හමුදාවෙන් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වැටුප් දෙකක් ලබාගන්නා බව අප නැවත කියා සිටින අතර ඒ පිලිබදව සොයා බැලීම විගණන අංශ ඇතුළු වගකිවයුත්තන්ගේ රාජකාරිය වේ.
එසේම උපකුලපතිවරයා විසින් නිවැරදි බවට තර්ක ඉදිරිපත් කරන අධ්යක්ෂ ආරක්ෂ නම් තනතුරක් පේරාදෙණියේ හැර විශ්වවිද්‍යාල පද්ධතියේ වෙනත් කිසිදු ස්ථානයක නොමැති බව නැවත තහවුරු කරන්නෙමු.
– මතු සම්බන්ධයි














