තායිවානයේ කීලුන්ග් (Keelung) වරාය සහ ජපානයේ ඉෂිගාකි (Ishigaki) දූපත අතර නව තොටුපළ සේවාවක් අද (28) ආරම්භ විය. සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් ආරම්භ කළ මෙම සේවාව සඳහා යොදවා ඇති ‘යයිමා මාරු’ (Yaima Maru) නැමැති යාත්‍රාව, කලාපයේ යුදමය තත්ත්වයක් ඇති වුවහොත් ජපානයේ දකුණු දිග දූපත්වල වෙසෙන ජනතාව ආරක්ෂිතව ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා යොදා ගැනීමට නියමිත යාත්‍රා ලැයිස්තුවට ජපාන රජය විසින් පසුගියදා ඇතුළත් කරන ලදී.
තායිවානය තම භූමියේ කොටසක් ලෙස සලකන චීනය, පසුගිය වසර පහ තුළ තායිවානය වෙත එල්ල කරන මිලිටරි පීඩනය තීව්‍ර කර ඇති අතර, ජපාන දේශසීමාව ආසන්නයේ ද යුද අභ්‍යාස පවත්වා ඇත. මේ හේතුවෙන් ජපානය තම දකුණු දිග දූපත්වල ආරක්ෂාව ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.
සතිපතා වරක් කීලුන්ග් සහ ඉෂිගාකි අතර ගමන් කරන මෙම යාත්‍රාව සංචාරක ක්ෂේත්‍රයට පමණක් නොව, කලාපීය ආර්ථික, සංස්කෘතික සහ අධ්‍යාපනික හුවමාරුව සඳහා නව පාලමක් වනු ඇති බව ඉෂිගාකි නගරාධිපති යොෂිතාකා නාකයාමා පැවසීය. ඇමරිකානු හමුදා කඳවුරක් පිහිටි ඔකිනාවා දූපත් ආශ්‍රිතව සහ තායිවානයට ආසන්නතම ජපාන දූපත වන යොනාගුනි (Yonaguni) වැනි ප්‍රදේශවල ජපානය තම ආරක්ෂක බලගැන්වීම් සිදුකරමින් පවතී.
















