ඉන්දියාවේ කොල්කටා නගරයේ ඉදිකර තිබූ අඩි 70ක් පමණ උසැති, ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීගේ යෝධ ප්‍රතිමාව ආරක්ෂක හේතූන් මත එතැනින් ඉවත් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ලයනල් මෙසී ඉන්දියාවේ සංචාරයක නිරත වූ අතර, ඊට සමගාමීව මෙම පිළිරුව මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු ලැබීය.
කෙසේ වෙතත්, මෙම දැවැන්ත ප්‍රතිමාව තද සුළඟට සෙලවෙන බව බලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇති අතර, එය අනාරක්ෂිත බවට ප්‍රදේශවාසීන්ගෙන් ද පැමිණිලි ලැබී තිබුණි. ඒ අනුව පසුගිය සඳුදා දින සිදුකළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුව, අනතුරක් සිදුවීමට පෙර මෙම ප්‍රතිමාව වහාම වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස නියෝග කර ඇත. මෙම යෝධ පිළිරුව පිහිටා තිබෙන්නේ නගරයේ අතිශය කාර්යබහුල කලාපයක සහ උමං මාර්ගයකට ආසන්නව බැවින්, මේ වන විට ඒ අසලින් ගමන් කිරීම ද මහජනතාවට තහනම් කර තිබේ.
නිර්මාණකරුවන් 45 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් දින 27ක් වැනි කෙටි කාලයක් තුළ මහන්සියෙන් එකලස් කරන ලද මෙම ප්‍රතිමාව නැවත සුරක්ෂිතව ස්ථාපිත කිරීම සඳහා බලධාරීන් මේ වන විට විකල්ප ස්ථානයක් සොයමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.















