දේශගුණික විපර්යාස, භූදේශපාලනික අර්බුද සහ විවිධ බදු ප්‍රතිපත්ති හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ඉතිහාසයේ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ ලන්ඩනයේ කෝපි කෝප්පයක මිල පවුම් 5ක් (£5) දක්වාත්, ඇමෙරිකාවේ එය ඩොලර් 9ක් ($9) දක්වාත් ඉහළ ගොස් තිබේ.මෙම මිල ඉහළ යාමට බලපෑ ප්‍රධාන සාධක ලෙස ලොව ප්‍රධාන කෝපි නිෂ්පාදකයන් වන වියට්නාමයට බලපෑ දැඩි නියඟය හා ටයිෆූන් චණ්ඩ මාරුතය නිසා ‘රොබස්ටා’ (Robusta) අස්වැන්නත්, බ්‍රසීලයට බලපෑ දැඩි හිම පතනය නිසා ‘ඇරබිකා’ (Arabica) අස්වැන්නත් විශාල ලෙස පහත වැටීම දැක්විය හැකිය. මීට අමතරව ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් කෝපි ආනයනය සඳහා පැනවූ අධික බදු හේතුවෙන් ඇති වූ මිල ඉහළ යාම සහ පසුව ජනතා විරෝධය හමුවේ එම බදු ඉවත් කිරීමට සිදුවීමත්, වනාන්තර විනාශ කර වගා කරන කෝපි තහනම් කරමින් යුරෝපා සංගමය පැනවූ නව නීති නිසා නිෂ්පාදන පිරිවැය වැඩි වීමත් ප්‍රධාන බලපෑම් වී ඇත.වර්තමාන තරුණ පරපුර ‘Cold Brews’ සහ ‘Matcha’ වැනි මිල අධික පාන වර්ගවලට යොමු වීම සහ චීනයේ ‘Luckin Coffee’ වැනි සමාගම් තාක්ෂණික යෙදුම් හරහා කෝපි අලෙවිය පුළුල් කිරීම නිසා කෝපි සඳහා පවතින ඉල්ලුම තවමත් අඩුවක් නොමැති බව නිරීක්ෂණය වේ. සැපයුම් දාමවල පවතින බිඳවැටීම් හමුවේ, ඉදිරියේදීත් කෝපි මිල ඉහළ මට්ටමක පවතිනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
















