රජයේ ඩිජිටල් ආයතනය මඟින් හඳුන්වා දී ඇති, රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ “Gov Pay” ක්‍රමවේදයට (Link) සමාන ව්‍යාජ ලින්ක් සකස් කර මෙරට පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව පිළියන්දල පොලිසිය පවසයි. පොලිසිය සඳහන් කරන්නේ විදේශ රටවල සිට මෙම සංවිධානාත්මක ජාවාරම මෙහෙයවන බවයි.
මෙවැනි ව්‍යාජ “Gov Pay” ලින්ක්ස් තමන්ගේ ජංගම දුරකථන වෙත ලැබුණු පුද්ගලයන් පස්දෙනෙකු අද (28) දිනයේම පමණක් පිළියන්දල පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ. එම පැමිණිලි විභාග කරමින් අදාළ ලින්ක් පරීක්ෂා කිරීමේදී ඒවා සම්පූර්ණයෙන්ම ව්‍යාජ ඒවා බවට තහවුරු කරගත් බව පොලිසිය ප්‍රකාශ කළේය.
පැමිණිලිකරුවන්ගේ ජංගම දුරකථන වෙත කෙටි පණිවිඩ (SMS) සහ WhatsApp පණිවිඩ මාර්ගයෙන් මෙම ව්‍යාජ ලින්ක් ලැබී ඇති අතර, ඒවා විවෘත කිරීමේදී රුපියල් 10,000ක මුදලක් ගෙවීමට ඇති බවට එහි සටහන් කර තිබී ඇත. පොලිසිය විසින් එම දුරකථන පණිවිඩ කිහිපයක් වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී, ඒවා පිටුපස මොරොක්කෝව සහ පිලිපීනය යන විදේශීය රටවල දුරකථන අංක සඳහන්ව තිබෙන බව ද අනාවරණය වී තිබේ. මේ හේතුවෙන්, ජංගම දුරකථන වෙත ලැබෙන මෙවැනි සැක සහිත රාජ්‍ය දඩ ගෙවීම් ලින්ක්ස් පිළිබඳව මහජනතාව දැඩි සේ විපරම්කාරී විය යුතු බව බලධාරීන් සිහිපත් කරයි.
















