උදාවීමට නියමිත වෙසක් සහ පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සල්වල ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම උපදෙස් මාලාව සියලුම පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂවරයා සහ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) වෙත යොමු කර ඇත.
සංවිධායකයන් පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු:
නව මාර්ගෝපදේශවලට අනුව සියලුම දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කොට්ඨාස මට්ටමින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතුය. එහිදී දන්සල පවත්වන ස්ථානය, සංවිධායකයන්ගේ නම, ලිපිනය සහ දුරකථන අංක වැනි මූලික තොරතුරු ලබාදීම අනිවාර්ය වේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දන්සල් පරීක්ෂා කිරීමේදී, ඒවා 2011 ආහාර (ස්ථානීය රෙගුලාසි) වලට අනුකූලව සිදුවන බවට වගබලා ගත යුතුය.
ආහාර සැකසීම සහ සනීපාරක්ෂාව:
දන්සල් ආරම්භ කිරීමට ප්‍රථම සහ එය පවතින අතරතුරදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එම ස්ථාන පරීක්ෂා කර සෞඛ්‍යාරක්ෂිත බව සහ පරිසර සෞඛ්‍යයට හානි නොවන බව තහවුරු කරගත යුතු අතර, ආරම්භයේ සිට අවසානය දක්වාම නිසි කසළ කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. හැකි සෑම විටම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නල ජලය ආහාර සැකසීමට සහ පරිභෝජනයට යොදාගත යුතු අතර, එසේ නොහැකි නම් ආරක්ෂිත ජල මූලාශ්‍ර භාවිත කළ යුතුය.
එමෙන්ම, දන්සල ආශ්‍රිතව ආහාර අනුභවය සිදු කරන ස්ථානවල අත් සේදීම සඳහා ජල පහසුකම් සහ සබන් හෝ අත් පිරිසිදුකාරක (Sanitizers) සපයා තිබීම සහතික කළ යුතුය. දන්සල්වල ආහාර පිළියෙල කිරීම සහ එය ජනතාව වෙත පරිභෝජනයට දීම අතර කාලය පැය 04කට වඩා වැඩි නොවිය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ විශේෂයෙන් සඳහන් කර ඇත.
















