පරිභෝජනයට නුසුදුසු ලූනු කිලෝ 227ක තොගයක් අපවිත්‍ර ජලයෙන් සෝදා අලෙවිය සඳහා තබා තිබුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර මහත්මිය පෙරේදා (26) පියවර ගත්තාය. සැකකරු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.
මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කෙරුණේ මීගමුව, තලාදූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය. සැකකරු විසින් අදාළ ලූනු තොගයෙන් කොටසක් කානුවල බැස යන අපවිත්‍ර ජලයෙන් සෝදමින් සිටියදී සහ තලාදූව අගරදගුරු නිකුලස් මාකස් මාවතේ විකිණීම සඳහා තබා තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම ලූනු තොගය අත්අඩංගුවට ගෙන තිබිණි. අනතුරුව ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීමට දින ලබා දී තිබුණ ද ඔහු දිගින් දිගටම අධිකරණය මඟහැර තිබේ.
මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ඒ.යූ.කේ. ගුණරත්න මහතා සහ තලාදූව මහජන සෞඛ්‍ය පරීක්ෂක කසුන් සමරකෝන් යන නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.
















