ගෝලීය දේශපාලනික අර්බුද මධ්‍යයේ වුවද අඛණ්ඩව සිය ස්ථාවරත්වය පවත්වා ගනිමින්, සම්පත් බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය සිය ඉතිහාසයේ පළමු වතාවට රුපියල් ට්‍රිලියන 2 සීමාව ඉක්මවා යෑමට සමත්ව තිබේ. 2026 වසරේ පළමුවන කාර්තුව තුළදී ණය කළඹෙහි සිදු වූ රුපියල් බිලියන 127 ක කැපීපෙනෙන වර්ධනයත් සමඟ බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.1 ක් දක්වා ඉහළ ගොස් ඇත.
සම්පත් බැංකුව 2026 වසරේ පළමුවන කාර්තුව සඳහා රුපියල් බිලියන 28.5 ක මුළු මෙහෙයුම් ආදායමක් වාර්තා කර ඇති අතර, කාඩ්පත් භාවිතය සහ වෙළඳාම් කටයුතු ඉහළ යාම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 28% කින් (රුපියල් බිලියන 6.1 දක්වා) ඉහළ ගොස් තිබේ. එමෙන්ම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මත රුපියල් බිලියන 1.5 ක විනිමය ආදායමක් වාර්තා කිරීමට ද බැංකුව සමත් විය. කෙසේ වුවද, ගෝලීය අර්බුද හමුවේ වෙන් කරන ලද රුපියල් බිලියන 4.5 ක අපහායන ප්‍රතිපාදන සහ රාජ්‍ය සුරැකුම්පත්වල පොළී අනුපාත පහත වැටීම හේතුවෙන්, කාර්තුවේ බදු පසු ලාභය පසුගිය වසරේ අනුරූප කාර්තුවට සාපේක්ෂව 26% ක පහත වැටීමක් පෙන්වමින් රුපියල් බිලියන 6.2 ක් ලෙස සටහන්ව ඇත. මේ අතර සම්පත් සමූහය ද 2026 පළමු කාර්තුව වෙනුවෙන් රුපියල් බිලියන 6.8 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ.
වැටුප් වර්ධක සහ නව බඳවා ගැනීම් හේතුවෙන් මෙහෙයුම් වියදම් 19% කින් ඉහළ ගිය ද, බැංකුවේ සියලුම ප්‍රාග්ධන අනුපාතයන් අවම නියාමන අවශ්‍යතාවලට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට සම්පත් බැංකුව සමත්ව ඇත. තැන්පතු ප්‍රමාණය ඉහළ යාම නිසා බැංකුවේ මුළු වගකීම් ද රුපියල් ට්‍රිලියන 1.92 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
















