ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි ත්‍රින් තී ටැම් මහත්මිය මෙන්ම උප තානාපති ලී වැන් හොන්ග් මහතා අතර හමුවක් පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පසුගිය 26දා පැවැත්විණි. වියට්නාම ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මහතා විසින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වෙත එවන ලද සිහිවටනය පිළිගැන්වීම ද ඒ අවස්ථාවේ තානාපතිවරිය අතින් සිදු කෙරිණි.
පසුගියදා වියට්නාම් ජනරජයේ ජනාධිපති සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටෝ ලාම් මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය. ශ්‍රී ලංකාවේ සිදු කරන ලද එම සංචාරය සම්බන්ධයෙන් ටෝ ලාම් මහතා ඉහළ ප්‍රසාදයක් පළ කළ බවත්, එම සංචාරයෙන් පසු ශ්‍රී ලංකාව සමඟ වියට්නාමයේ පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා විස්තීර්ණ හවුල්කාරීත්ව මට්ටමට වර්ධනය කරගැනීමට හැකි වූ බවත් තානාපතිනිය එහිදී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය පොහොර ආනයනය කිරීම සඳහා සිදු කරන කටයුතු, ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම, විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාවයේ ප්‍රගතිය ආදී කරුණු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරිණි.
















