ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ කරන ලදී. පාර්ලිමේන්තු වාරයන් පවතින කාර්යබහුල කාලසීමාවක වුවද, ඔස්ට්‍රේලියානු රජය සහ විපක්ෂය නියෝජනය කරමින් සෙනෙට් සභිකයන් සහ ෆෙඩරල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වීම විශේෂත්වයකි.
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ ඔස්ට්‍රේලියානු ආගමන විගමන, විදේශ කටයුතු සහ වෙළෙඳ සහකාර ඇමැති මැට් තිස්ල්ත්වේට් මහතා, ඔස්ට්‍රේලියාවේ බහුවිධ සංස්කෘතික සමාජයට ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් ලැබෙන වෘත්තීය සහ සංස්කෘතික දායකත්වය අගය කළේය. සාමාජිකයන් 34 දෙනකුගෙන් සමන්විත මෙම මිත්‍රත්ව සංගමයේ සභාපතිත්වය දරන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මියයි. ඇය දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට සිය කැපවීම යළිත් තහවුරු කළ අතර, සංගමයේ උප සභාපති සෙනෙට් සභික වෙන්ඩි ඇස්කියු මහත්මිය ද සිය සහයෝගය පළ කළාය. මීට අමතරව, ශ්‍රී ලාංකික උරුමයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී අශ් අම්බිහයිපහාර් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
















