ශ්‍රී ලංකාවේ බැංකු අංශය ස්ථාවරව හා ආරක්ෂිතව පවතින බවත්, මෑතකදී වාර්තා වූ හුදෙකලා මූල්‍ය වංචා හේතුවෙන් පාරිභෝගික තැන්පතුවල ආරක්ෂාවට හෝ මූල්‍ය පද්ධතියේ සමස්ත අඛණ්ඩතාවට කිසිදු තර්ජනයක් නොමැති බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරයි. බැංකු අංශය එවැනි අභියෝග කළමනාකරණය කිරීමට සහ අවම කිරීමට මනා ලෙස සන්නද්ධ වී සිටින බව ද එම සංගමය වැඩිදුරටත් පවසයි.
සමාජ මාධ්‍ය තුළ පළවන බොහෝ තොරතුරු නොමඟ යවනසුලු හෝ සාවද්‍ය බව සභාපතිවරයා පෙන්වා දෙයි. මෑතකාලීනව වාර්තා වූ ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු කිරීම් සම්බන්ධ වංචා හේතුවෙන් සිදුවන පාඩුවලින් නියෝජනය වන්නේ බැංකු විසින් පවත්වාගෙන යනු ලබන ආයතනික ස්වාරක්ෂක ප්‍රාග්ධනයට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් පමණි. මහජන තැන්පතුවලින් තොරව, ආයතනික ස්වාරක්ෂක ප්‍රාග්ධනය පමණක් යොදාගෙන එවැනි පාඩුවීම් පියවා ගනිමින් ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සුරක්ෂිතව තබා ගැනීමට බැංකුවලට හැකියාව පවතී.
වාර්තා වූ තතු බෑම් (Phishing) වැනි වංචා බැංකු ක්ෂේත්‍රයේ දුර්වලතාවක් නොව, ලොව පුරා මූල්‍ය පද්ධති මුහුණ දෙන පරිණාමය වන ඩිජිටල් තර්ජනවල ස්වභාවය බව සභාපතිවරයා පැහැදිලි කරයි. මෙම හුදෙකලා සිදුවීම් සමස්ත බැංකු ක්ෂේත්‍රය පුරා විහිදෙන පද්ධතිමය දුර්වලතාවක් පිළිබිඹු නොකරන අතර, සියලුම බලපත්‍රලාභී බැංකු ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති අවම නියාමන අවශ්‍යතාවලට වඩා ප්‍රාග්ධනයේ ප්‍රමාණවත්භාවය සහ ද්‍රවශීලතා අනුපාත ඉහළින් පවත්වාගෙන යයි. නැඟී එන තර්ජනවලට එරෙහිව බැංකු විසින් දියුණු තාක්ෂණයෙන් යුත් වංචා අවදානම් කළමනාකරණ පද්ධති සහ දැඩි අධීක්ෂණ නීතිරීති ක්‍රියාත්මක කරමින් තම ආරක්ෂක විධිවිධාන අඛණ්ඩව ශක්තිමත් කරමින් සිටින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















