වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන විශේෂ වැඩසටහන් මාලාවක් මෙම 30 වැනිදා සිට ලබන මස 02 වැනිදා දක්වා ජනාධිපති ලේකම් කාර්යාලය අබියසදී පැවැත්වීමට නියමිතය. හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සහයෝගය ඇතිව සංවිධානය කෙරෙන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයට සමගාමීව මෙම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
මැයි 30 වැනි දා සිට ජූනි 02 වැනි දා දක්වා සෑම දිනකම සවස 6.30 ට භක්ති ගීත ප්‍රසංගය පැවැත්වේ. ත්‍රිවිධ හමුදාවේ සහ ශ්‍රී ලංකා පොලීසියේ බැති ගී කණ්ඩායම් මෙන්ම කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ දේවි බාලිකා විද්‍යාලය සහ ගල්කිස්ස බෞද්ධ කාන්තා විද්‍යාලය යන පාසල්වල බැති ගී කණ්ඩායම් ද ඊට සහභාගි වීමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය හා අවට ගොඩනැඟිලි මෙන්ම මාර්ග ද විදුලි බුබුළුවලින් ආලෝකවත් කර වෙසක් පහන් කූඩු හා සැරසිලි ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇත. මීට අමතරව ජනාධිපති කාර්යාලය සහ යුද හමුදාව එක්ව සංවිධාන කරන බත් දන්සල සහ අයිස් ක්‍රීම් දන්සල පැවැත්වීම සඳහා ද මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම වෙසක් අසිරිය දැක බලාගැනීම සඳහා එක්වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවට ආරාධනා කරයි.
















