ජෝර්ජියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කළ නිලූක කදුරුගමුව මහතා, ජෝර්ජියානු ජනාධිපති මිකෙල් කවෙලෂ්විලි මහතා වෙත ටිබිලිසි නුවරදී සිය අක්තපත්‍ර පිළිගන්වා ඇත. තුර්කියේ අන්කාරා නුවර සිට නේවාසිකව කටයුතු කරන තානාපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් ජෝර්ජියානු රජය සහ ජනතාව වෙත පිරිනැමූ අතර දෙරට අතර පවතින මිත්‍රත්වය සහ සහයෝගිතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම තහවුරු කළේය.
තානාපති කදුරුගමුව මහතා ජෝර්ජියානු නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු ඇමැති මාකා බොචොරිෂ්විලි සහ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ජෝර්ජ් සුරාබාෂ්විලි ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හමුවී දේශපාලන සහයෝගිතාව, වෙළෙඳ හා ආයෝජන, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය සහ සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීය. දෙරට අතර සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ වැදගත්කම දෙපාර්ශ්වයම පිළිගෙන ඇත.
විශේෂයෙන්ම ටිබිලිසි රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය ඇතුළුව ජෝර්ජියාවේ උසස් අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික සිසුන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, තානාපතිවරයා ටිබිලිසිහි සිටින ශ්‍රී ලාංකික සිසුන් හමුවී ඔවුන්ගේ අධ්‍යයන හා සුභසාධන කටයුතු පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබේ. මෙම නිල සංචාරය සඳහා අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අමාත්‍ය නිලූෂා දිල්මිණි මහත්මිය ද සහභාගී වී ඇත.
















