වත්මන් සමාජය මුහුණ දී සිටින බරපතළම අභියෝගය වන්නේ තාක්ෂණික දියුණුවත් සමඟම මත්ද්‍රව්‍ය සහ අපචාර වැනි විනාශකාරී දොරටු තරුණ පරපුර වෙත විවෘත වීමයි. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස තොරතුරු ලෝකයට ක්ෂණිකව ප්‍රවිෂ්ට වීමේ හැකියාව ලැබුණද, එම ප්‍රවාහය තුළින්ම මතු වී ඇති සමාජ අර්බුදයන් හමුවේ තරුණ පරපුරේ අනාගතය අවදානමට ලක්ව ඇත. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නීතිය සහ රාජ්‍ය බලය පමණක් ප්‍රමාණවත් නොවන බව වටහා ගත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, මත්ද්‍රව්‍ය සහ අපරාධ සඳහා පැවති දේශපාලන අනුග්‍රහය මුළුමනින්ම බිඳ දමා ඇති බව අවධාරණය කරයි.
නිකවැරටිය ගනේවැව පුරාණ විහාරස්ථානයේ පැවති වෛශාඛ්‍ය මංගල්‍යයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, තරුණ පරපුර අධ්‍යාත්මිකව අවදි කරලීම උදෙසා පූජ්‍ය කන්නෝරුවේ සිරිධම්ම හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඉටුකරන සමාජ මෙහෙවර විශේෂ ඇගයීමට ලක් කරමිනි. අතීතයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තිබූ දේශපාලන සහ රාජ්‍ය අනුග්‍රහය අහෝසි කොට, නීතිය ක්‍රියාත්මක කිරීමේ ස්වාධීනත්වය තහවුරු කිරීමට වත්මන් රජය සමත්ව ඇත. එහෙත්, මෙම විනාශකාරී දොරටුව සදහටම වසා දැමීමට නම් ආධ්‍යාත්මික හර පද්ධතියක් තුළින් තරුණ පරපුරේ මනස සකස් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
අනාගත සමාජයේ නිර්‌මාපකයන් වන තරුණ පරපුර නව වටිනාකම් පද්ධතියකට යොමු කිරීම හරහා, සියලු සංස්කෘතීන් සහ අනන්‍යතාවන්ට ගරු කරන සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීම ජාතික අරමුණ වී තිබේ. නීතිය හා පොලිසිය මඟින් සිදු කරනු ලබන මෙහෙයුම්වලට සමාන්තරව, ආගමික නායකයන්ගේ මඟපෙන්වීම යටතේ තරුණයන් යහපත් මාවතකට යොමු කිරීම රටේ පැවැත්මට තීරණාත්මක වනු ඇත. නීතියේ දැඩි බව සහ අධ්‍යාත්මික සුවය එකම තලයකට ගෙන ඒම මඟින් පමණක්, රටේ අනාගතය අඳුරු කරන විනාශකාරී බලවේග පරාජය කොට සුරක්ෂිත දේශයක් උරුම කරදීමට හැකි වනු ඇති බව නිසැක ය.
















