මේ දිනවල දිවයිනේ ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන ‘එන්ටරො වෛරස් මෙනින්ජයිටීස්’ (Enterovirus Meningitis) රෝගී තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
මෙම රෝගය පසුගිය අප්‍රේල් මාසයේදී මාතර දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලද ව්‍යාප්ත වෙමින් පවතින බව හඳුනාගෙන ඇත. රෝගය මූලික වශයෙන් ළමුන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි වශයෙන් බලපෑම් ඇති කරන අතර, රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.
වසංගත රෝග විද්‍යාත්මක හා පාරිසරික විමර්ශන මගින් රෝගීන් පොකුරු වශයෙන් සහ තැනින් තැන වාර්තා වන බව තහවුරු වී ඇත. මෙම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර තිබේ.
අදාළ චක්‍රලේඛය මගින් පාසල් පරිශ්‍රයන් තුළ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීම සහ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සිසුන් සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස උපදෙස් ලබා දී ඇත.
















